අවංක රාජ්‍ය සේවය සොයා

Integrity යන වචනයේ අර්ථය වන්නේ; “අවංකභාවය” එසේත් නැති නම් “ප්‍රතිපත්තිගරුක බව” යන්නයි. එය සිය ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්වීම සැබවින් ම අභියෝගාත්මක වන්නකි.

ශ්‍රී ලංකාවේ නීතිය හා සාධාරණත්වයේ කැඩපත වන රාජ්‍ය සේවය පිළිබඳ සේවාදායකයන් හා සාමාන්‍ය මහජනයාගේ ම අද්දැකීම් මත පදනම් වූ විවිධ අදහස් සමාජයේ ඇත. අපට ලංකාවේ රාජ්‍ය සේවය, එහි කාර්යයන් හා නිලධාරින් පිළිබඳ ව ඇත්තේ අඩු දැනුමකි. එබැවින් Integrity Icon 2019 වැඩසටහන මගින් අපට සමාජයේ නිතර මුණ නොගැසෙන ඉමක් සළකුණු කර පෙන්වයි.   

අප බොහෝ දෙනෙක් තවමත් අප නිරත වී සිටින රැකියාවන්වල ක්ෂේත්‍රවල ප්‍රවීනයන් වී නැත. අප ප්‍රවීනයන් වන්නේ අද්දැකීමෙන් පමණක් නො ව අනෙකාට ආදර්ෂවත් ලෙස අපගේ සේවාවන්හි නිරත වන්නේ නම් පමණි.  තාරුණ්‍යයේ සිටින අපට ඔවුන් ඉතාම අගනා ආදර්ෂයක් සපයයි.

මෙම වැඩසටහන සංවිධානය කරන්නේ Transparency International ආයතනයයි. පසුගිය වසරවල මෙන් ම ඔවුන් විසින් තෝරාගත් අවංක ආදර්ශවත් රාජ්‍ය නිලධාරින් අතරින් අවසන් වටයට තේරුණු පස්දෙනාගෙන් ජයග්‍රාහකයෙකු තේරීමේ කටයුතු මේ විට සිදු වෙමින් පවතී.

පහතින් ඇත්තේ ඔවුන්ගේ කෙටි තොරතුරු ඉදිරිපත් කිරීමකි:

ඒ.එම්.ඒ.එස්.අමරසිංහ – ශ්‍රී ලංකා රේගු මධ්‍යම විමර්ශන කාර්යාංශයේ සහකාර අධිකාරිවරයා ලෙස අමරසිංහ  මහතා, කාර්යාංශය විසින් සිදු කරන ලද සාර්ථක වැටලීම් වලදී සහ නඩු පැවරීම් වලදී සුවිශේෂී කාර්ය භාර්යයක් ඉටු කර ඇත. රේගු දෙපාර්තුමේන්තුව රජයේ ප්‍රධාන ආදායම් උපයන ආයතනයක් ලෙස අමරසිංහ මහතා හදුන්වා දෙන අතර, මෙම ආදායම පොදු සේවාවන් වැඩි දියුණු කිරීම සඳහා යොදා ගත යුතුය යන විශ්වාසයට කැප වී සිටී. අමරසිංහ මහතා සිය වෘත්තීය කාලය පුරාවටම දේශපාලනමය පීඩනයන්ගෙන්  සහ ප්‍රබල ව්‍යාපාරික බලපෑම්වලින් එනු ලබන අභියෝගයන්ට මුහුණ දෙමින්, සිය රාජකාරිය අවංකව සහ සුපිලිපන්නභාවයෙන් යුතුව ඉටු කිරීමට සමත්ව ඇත.

බී.කේ.පී.චන්ද්‍රකිර්ති – වෙරළ සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන්, දෙපාර්තුමේන්තුවේ බලපත්‍ර ලබාදීමේ ක්‍රියාවලිය සඳහා ඔන්ලයින් ක්‍රමවේදයක් සකස් කිරීමට චන්ද්‍රකිර්ති මහතා මුලිකත්වය ගෙන කටයුතු කළේය. සේවාදායකයින් සහ දෙපාර්තුමේන්තු නිළධාරීන් මුහුණට මුහුණ මුණ ගැසීම අල්ලස සඳහා අවකාශය නිර්මාණය කිරීමක් ලෙස හඳුනා ගන්නා චන්ද්‍රකිර්ති මහතා එවැනි අක්‍රමිකතා අවම කිරීම පිණිස ඔන්ලයින් හරහා බලපත්‍ර අනුමත කිරීමේ පද්ධතියක් ස්ථාපිත කල අතර එම ක්‍රියාවලිය ස්වයංක්‍රිය කරන ලදී. චන්ද්‍රකිර්ති මහතා සිය රාජ්‍ය සේවා කාලය පුරාම අවංකභාවය හා සුපිළිපන්නභාවය සිය ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්වා දී තිබේ.

කේ. කුනනාදන් – ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වෙරුගල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ප්‍රාදේශීය ලේකම්වරයා ලෙස කුනනාදන් මහතාගේ දැඩි දුෂණ විරෝධී ස්ථාවරය, ලේකම් කාර්යාලයේ මහජන සේවය වැඩි දියුණු වීමට පුරෝගාමී වී ඇත. දුෂණයට එරෙහිව සටන් වැදීමේදී ඩිජිටල් තාක්ෂණයේ ඇති වැදගත්කම අවබෝධ කරගත් කුනනාදන් මහතා, ලේකම් කාර්යාලය මගින් සිදු කරනු ලබන විවිධ කාර්යයන් සඳහා ඔන්ලයින්  ඉල්ලුම්පත්‍ර ක්‍රමයක් සහ අනුමැතිය ලබා දීමේ ක්‍රමවේදයක් හදුන්වා දුන්නේය. මීට අමතරව, දුෂණ චෝදනා ලැබූ නිලධාරීන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමටද කුනනාදන් මහතා පියවර ගන්නා ලදී. එමෙන්ම, වෙරුගල් ප්‍රදේශය තුල බොහෝ සමාජ සත්කාරයන් සහ ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති සඳහාද කුනනාදන් මහතා සිය දායකත්වය සපයා ඇත.

පී.ඒ.සී ප්‍රියදර්ශනී –  රජයේ පාසල් වල පළමු ශ්‍රේණියට දරුවන් ඇතුලත් කිරීමේදී පවතින දුෂණ හා අක්‍රමිකතා සාමාන්‍ය ජනතාව වාර්ෂිකව මුහුණ දෙන ප්‍රධාන ගැටලුවකි. මතුගම ශාන්ත මේරී විදුහලේ විදුහල්පතිනිය, ප්‍රියදර්ශනී මෙනවිය එවැනි දුෂණ අවම කිරීමට සහ වැලක්වීමට විශේෂ ලකුණු ක්‍රමයක් සකස් කරනු ලැබුවාය. මෙම කුසලතාවය මත පදනම් වූ, බඳවා ගැනීමේ ක්‍රමය හේතුවෙන් ඇයට ඇයගේ ප්‍රජාවේ සියල්ලන්ගෙන් ඉමහත් ප්‍රසංශාවක් දිනා ගැනීමට හැකි වුවා මෙන්ම දේශපාලන බලධාරීන්ගේ කෝපයටද දිරියෙන් යුතුව මුහුණ දුන්නාය. ශාන්ත මේරි විදුහලේ පවතින සීමිත සම්පත් ප්‍රමාණය කාර්යක්ෂමව භාවිතා කරමින් ඊ – පුවරු හා නවීන ක්‍රීඩා උපකරණ ආදී පහසුකම් දක්වා පාසැල සංවර්ධනය කිරීම හේතුවෙන් ඇය ප්‍රසංශාවට හා ගෞරවයට පාත්‍ර වී ඇත.

වෛද්‍ය ටී. සත්‍යමුර්ති – ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ නිරන්තරයෙන් දුෂණ හා අකටයුතුකම් පිලිබඳ චෝදනා අසන්නට ලැබේ. එවැනි වාතාවරණයක් තුළ යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සත්‍යමුර්ති තම රෝගීන්ගේ සුබසාධනය සහතික කිරීම සඳහා වෙහෙස නොබලා කටයුතු කරන වෛද්‍ය පරිපාලකයෙකු ලෙස කැපී පෙනේ. රාජ්‍ය සේවකයෙකු සිය රාජකාරිය පැහැර හැරීම ම දුෂණයක් ලෙස හදුනාගන්නා වෛද්‍ය සත්‍යමුර්ති, රාජකාරි වේලාවන් තුල වෛද්‍යවරුන් පුද්ගලික චිකිත්සක මධ්‍යස්ථාන වල කටයුතු කිරීම තහනම් කිරීම ඇතුලු ආයතනික වශයෙන් පියවර කිහිපයක්ම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලදී. ඔහුගේ ක්‍රියා කලාපය නිසා යාපනය ශික්ෂණ රෝහල සුවිශේෂී සෞඛ්‍ය සේවා සපයන්නෙකු ලෙස රෝගීන් අතර කීර්තියක් ලබා ඇත.

ඔවුන් සොයාගැනීම අපගේ කටයුත්තක් වුවත් ඔවුන් සමාජගත කිරීමේ ඔබ සතු  වගකීමක් වනු ඇත.

අවසන් වටයට තෝරාගත් සුවිශේෂී නිලධාරීන් පස්දෙනා, ඔවුන්ගේ දෛනික රාජකාරී පරිසරය හා කටයුතු සමග මුහු වෙමින් රූපගතකිරීම් කොට පසුව ඒවා සංස්කරණය කොට ඔවුන්ගේ කාර්යභාරය ආයතනික පසුබිම ආදිය ඇතුළත් ප්‍රචාරණ වීඩියෝපට පහක් නිර්මාණය කළ Radicalz (Pvt) Ltd වන අපි, මෙවන් ව්‍යාපෘතියකට ආයතනයක් වශයෙන් දායක වීමට ලැබීම සුවිශේෂී අද්දකීමකි කොට සළකමු.

මෙවන් අවංක රජයේ නිලධාරීන් හඳුනාගන්නට ලැබීම අප ලද භාග්‍යයකි. 

Comments: